අමිල හිමිගේ නොමිල බණ (Amila Himi Ge Nomila Bana)

අමිල හිමිගේ නොමිල බණ

- නන්දසිරි කිඹියහෙට්ටි (ගජමුතු සහ කඳුළු කාව්‍ය සංග්‍රහයෙන්)


 

ඈත පිටිසර වන්නි වනපෙත අයියනායක අඩවියෙ

අපේ ගමටත් වැඩම කළ මැන බණක් කියවා ගන්න ආසයි

මධුර භාණක වාගීශ්වර මහා බෝසත් හිමියනි.


බෙන්ස් රථයේ පතුල පාතයි ගල් බොරලු පාරේ ඇති

එවුවොතින් ප්‍රාඩෝ එකක්වත් ගමන් පහසුව යහපති.


පන්සලේ පීකරේ දැන්නම් නියම කොලිටිය එන්නැති

සවුන්ඩ් සෙට් එක මෙහෙ තියෙනවා පන්දහසකට ගතහැකි.


ළඟදි කළුවර කැටයමෙන් කළ ධර්ම ආසනෙ තියෙනවා

ප්‍රවාහන වියදමත් එක්කම දොළොස්දාහට වටිනවා.


ලයිට් ගියොතින් ඇවැත් වෙනවා මගේ නමටත් හොඳ නැති

ස්ටෑන්ඩ්බයි ජෙනිය වැඩිපුර අටක් දුන්නම ගතහැකි.


රූපවාහිනියෙන් ගෙනාවත් යන්නේ මට දෙන ගානමයි

මගේ වීඩියෝ ටීම් එක නම් එක්ක එන්නම ඕනෙමයි.


අම්බපාලි කතා පුවතත් බණේ කොටසක තියෙනවා

රංගනයට අංගනාවක් මාත් එක්කම වඩිනවා.

කොස්ටියුම් වල ගාන විතරක් දොළහමාරක් කියනවා

ටිකක් අඩු කරගන්න පුළුවන් කීය දුන්නත් වටිනවා.


අපේ මුළු සෙට් එකම ආවත් දොළොස් දෙනෙකුට වැඩි නැති

ගමේ දඩමස් ටිකක් එක්කලා පොලොස් ඇඹුලක් අරුමැති.


පිරිකරක් නම් නැතත් කම් නෑ පොඩි දෙයක් දුන්නම ඇති

තායිලන්තෙන් ගෙනා සිවුරක් මෙහෙන් අඩුවට ගතහැකි.


තුන්දහසක්වත් පිරිස නාවොත් මගේ දෙසුවමෙන් පල නැති

සෝවාන් පල ලබන හැමටම සහතිකයෙකුත් දියහැකි.


පෝස්ටර් නම් බලන්නෙත් නෑ ගමේ කඩපිල් වල ඇති

ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකකට බාර දුන්නත් කම් නැති.

මේ දවස්වල බුකින් ඉවරයි ලබන මාසේ දිනයකි

අදම පොඩි ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කෙරුවොත් යහපති.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...